Our Blog

How to match curtain in right place

නිවසේ ස්ථාන අනූව තිරරෙදි ගලපන අයුරු

තිර රෙදි සඳහා භාවිත කළ හැකි රෙදි වර්ග විනිවිද පෙනෙන හා නොපෙනෙන ලෙස වර්ග දෙකකි. තිර රෙදිවල බර ප්‍රමාණය අනුව තිරරෙදි යොදන ආකාරය වෙනස් විය හැක.

කපු, වෙල්වට්, සිල්ක්, ලේස් හා ලිනන්තිර රෙදි කර්මාන්තයේදී බහුලව භාවිතා වන රෙදි වර්ග ලෙස හැඳින්විය හැකියි.

බර ප්‍රමාණය ඕනෑවට වඩා වැඩි වූ විට හෝ අඩු වූ විට තිර රෙදි වල නිර්මාණශීලීත්වය සහ නියමිත රැලි ප්‍රමාණය ඉස්මතු කර පෙන්විය නොහැකි ය.

බර රෙදි වර්ග වලින් රැලි සෑදීමට අපහසු වන අතර දුහුල් රෙදි පහතට එල්ලී මේ ප්‍රවනතාවය අඩු බවක් දක්වයි.

ඔබගේ සිතැගි පරිදි තිරරෙදි යෙදීමට පෙර එය නිවසේ කුමන ස්ථානයකට යොදන්නේ ද යන්න සැලකිලිමත් වීම වැදගත් ය.

එම ජනෙල් වල ප්‍රමාණය, වර්ණ, මෝස්තර රටාව හා රෙදි වර්ගය පිළිබඳව මූලිකවම සැලකිල්ලක් දැක්විය යුතු වේ.

නිවසට ස්වභාවික ආලෝකය සහ වාතාශ්‍රය අඩුවෙන් ලැබෙන අඳුරු ස්ථානයක් නම් ළා පැහැති දුහුල් තිර රෙදි භාවිත කිරීම වඩාත් යෝග්‍යය.

තදින් ආලෝකය ලැබෙන ස්ථාන වලට කපු හෝ වෙල්වට් වැනි ඝන රෙදි වර්ගයක් භාවිතා කිරීම සිදු කළ හැක.

ලා පැහැ තිර රෙදි කුඩා ස්ථාන වලට යොදා ගැනීමෙන් එහි අවකාශය වැඩි වැඩි කර පෙන්වයි.

තද හෝ පොප් වර්ණ තිර රෙදි යෙදීමට අදහස් කරන්නේ නම් නිවසේ හොඳින් ඉඩකඩ සහිත ස්ථානයකට යෙදීම වඩාත් සුදුසු ය.

ක්‍රමානුකූලව තිර රෙදි සහ කුෂන් කවර භාවිතා කිරීමෙන් පහසුවෙන්ම ඔබේ නිවසට ලාභදායී සුන්දර පෙනුමක් ලබා ගත හැක.

කුඩා මෝස්තරයන්ගෙන් යුත් තිර රෙදි කුඩා ස්ථාන වලට වඩාත් යෝග්‍ය වන අතර විශාල මෝස්තර සහිත තිර රෙදි ඉඩකඩ තිබෙන ප්‍රමාණයෙන් විශාල ස්ථානයකට භාවිතා කිරීම සිදු කරනු ලැබේ.

තිරස් ඉරි සහිත තිර රෙදි භාවිත කිරීමෙන් එම ස්ථානය උසින් අඩු නමුත් පලලින් වැඩි කර පෙන්වන අතර සිරස් ඉරි භාවිත කිරීමෙන් එහි උස වැඩි වැඩි කර පෙන්වයි.

රෙදි මෝස්තර තේරීමේ දී මල් මෝස්තර ඉරි හෝ ජ්‍යාමිතික ලෙස වර්ගීකරණයක් පවතී.

තිර රෙදි යෙදීමට භාවිතා කරන රැලි ක්‍රමය සැලකිල්ලෙන් තෝරා ගත යුතු අතර මේ සඳහා ඔබේ නිවසේ ඇති ජනෙල් හා දොරවල් ගණන වැදගත් වේ.

එමගින් එම තිර රෙදිවල රැලි ප්‍රමාණය සහ පහතට වැටෙන ආකාරය එකෝඩියන් ආකාරයට සකසා බැලීමෙන් තීරණය කළ හැක.

විශේෂයෙන්ම නිවසේ බිත්ති වල ආලේප කර ඇති වර්ණය, බිත්තිවල උස, නිවසේ කුමන ස්ථානයකට තිර රෙදි යොදන්නේ ද යන්නත් එම නිවස පිහිටා ඇති ප්‍රදේශයට අයත් දේශගුණික ස්වභාවය හා නිවසේ විශාලත්වය යන කාරණා පිළිබඳව මූලිකවම සැලකිලිමත්විය යුතු ය.

ප්‍රථමයෙන් ම ඔබට ඒ සඳහා වැය කළ හැකි මුදල සහ කල් පැවැත්ම යන කාරණා ගැන සලකා බලන්න.

තිරරෙදි අතරින් වාතය හා ආලෝකය නිවසට ඒමට පහසුවන පරිදි තුනී රෙදි යොදා ගැනීම වඩාත් සුදුසුවේ.

ඔබගේ නිවසේ පිටත තාප්පය නියමිත උසකින් බැඳ ඇති නම්ෂියර් වැනි තුනී රෙද්දක් භාවිතා කලහැක.

නිවසක සාලය, නිදන කාමර, මුළුතැන්ගෙය වැනි විවිධ ස්ථාන අනුව තිර රෙදි මෝස්තර හා යොදාගන්නා රෙදි වර්ගය වෙනස් වේ.

නිවසේ ආලින්දය

කුෂන් කවරවල වර්ණය මෙන්ම මෝස්තරයද තිර රෙදි සමග ගැලපීමෙන් නිවසට මනා නිමාවක් සහ නවීන පෙනුමක් ලබා ගත හැකිවනු ඇත.

විසිත්ත කාමරයේ ගෘහ භාණ්ඩ විවිධ වර්ණයන්ගෙන් යුතුවූ විට ඔබට එයට සරිලන වර්ණ තිරරෙදි ඒ සදහා ගලපාගත හැකිය.

නුමුත් දැන් ඉදි වෙමින් පවතින නවීන නිවාස වල වර්ණ එකක් හෝ දෙකක් පමණක් භාවිතා වන බැවින් ඒ සඳහා තිර රෙදි යෙදීමේදී ඔබ නියමිත ආකාරයෙන් ම අදාළ වර්ණ තිර රෙදි සඳහා මිශ්‍ර කල යුතුය.

නිවසක ගෘහ භාණ්ඩ, ගෙබිම සහ තිර රෙදි වල වර්ණ එකිනෙකට සමපාතව ගලපා ගැනීමෙන් මුළු අවකාශයම එකම නිමාවකින් පෙන්වයි.

ඔබට නිවස ප්‍රභූ පැලැන්තියක සේයාව දැක්වීමට අවශ්‍ය නම් ඒ සඳහා රතු සහ කහ මිශ්‍ර වර්ණ යොදා ගැනීම වඩාත් උචිත වේ.

බොහෝ දුරට නිවසේ ගෘහ භාණ්ඩ දුඹුරු, කලු, කහ, අලු හෝ සුදට හුරු වර්ණයන් ගෙන් පවතී.

බොහෝ දුරට එම වර්ණයන් ට සමාන පරිදි තිර රෙදි වල පැහැය එක් කර ගැනීමෙන් වඩාත් ආකර්ෂණීය බවක් නිවසට මතු වේ.

මල්ටි කලර්ස් නැති නම් විවිධ වර්ණ සහිත ගෘහ භාණ්ඩ ඇති නිවසකට තිර රෙදි යෙදීමේදී මෙම ප්‍රශ්නය එතරම් මතුනොවේ .

තිරරෙදි  නිර්මාණකරුවාගේ අදහස් මෙන්ම ඔබේ කැමැත්ත ද එකිනෙකට ගැළපිය යුතු ය. විසිත්ත කාමරයේ තිර රෙදිබිම් මට්ටමට නිර්මාණය කරනු ලබයි.

නුමුත් ඕනෑවට වඩා බිම ගෑවෙන විට කිළිටි වීමට ඉඩ ඇති බැවින් ගෑවෙන නොගෑවෙන සේ ඒවා ක්‍රමවත්ව යෙදීම සිදු කළ යුතුය.

නිවසේ කාමර

අවකාශය අඩු කාමරයකට නම් ළා පැහැති තිර රෙදි මෝස්තර ගලපා ගැනීමෙන් වැඩි ඉඩ කඩක් ලබා ගැනීමට පුළුවන.

ඔබගේ නිදන කාමරවල විශාලත්වය වැඩි නම් තද වර්ණ සහිත තිර රෙදි මෝස්තර සහ විශාල මෝස්තර සහිත තිර රෙදි තෝරා ගැනීමෙන් එම ස්ථානයට ආකර්ෂණීය බවක් ගෙන දිය හැකිවේ.

බොහෝ දෙනා කාමරයෙහි ඇඳන්වල රෙදි වල වර්ණය හා කොට්ට උරවල වර්ණය අනුව තිර රෙදි ගලපා ගනු ලැබේ.

කිසිවිටෙක කුඩා ළමයින් හෝ රෝගීන් සිටින කාමර වලට තද වර්ණ හෝ ඝන තිර රෙදි යෙදීමෙන් වලකින්න.

කුඩා දරුවන්ගේ කාමර සඳහා තිර රෙදි තෝරා ගන්නා විට එම්බ්‍රොයිඩර් කර මසාගත් සමනලුන්, ටෙඩීබෙයාර් රූප හෝ කාටුන් ප්‍රින්ටඩ් තිර රෙදි එක්කර ගැනීම ළමා මනසට වඩාත් සුදුසුය.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාලා පැහැයෙන් යුතු වර්ණයෙදීම යෝග්‍ය වේ.

නිවසේ කාමර සදහා ඝනකම් මෝස්තර සහිත තිරරෙදි තෝරා ගැනීමෙන් රාත්‍රී කාලයේ විදුලි බුබුළු ආලෝකයට ඇතුළත පෙනීම වලක්වාගත හැක.

නිවසේ මුළුතැන්ගෙය

මුලුතැන්ගෙයිහි පැන්ට්‍රි කබඩ් ඇති විට වඩාත් ගැලපෙන්නේ සරල මෝස්තර සහිත දිග නොවූ තුනී තිර රෙදි නිර්මාණයකි.

සෑම විටම ජනෙල් නිතර විවෘත කළ හැකි වන අයුරින් තිර රෙදි ටයිබෑන්ඩ් යොදා දෙපසට කර සකසා ගන්න.

මුළුතැන් ගෙයට ඝනකම් දිගු තිර රෙදි භාවිතා කළ විට අඳුරු පැහැයක් ගන්නා බැවින් ඒවා සුදුසු නොවේ.

දහවල් කාලයේ දී හිරු එලියේ ආලෝකය හොඳින් ලැබෙන පරිදි දොර රෙදි විවෘත කර තබන්න.

ලිප අසල ගිනි ගත හැකි අයුරින් තිරරෙදි නොයෙදීම මෙන්ම සින්ක් එක වැනි නිතර භාවිතා වන ස්ථාන වල දිගුතිර රෙදි යෙදීම සුදුසු නැත.

බිම් ප්‍රමාණයට වඩා තිර රෙදි හැකි තරම් කොටට සකසා ගැනීමෙන් එහි කල් පැවැත්ම හා පිරිසිදු බව රඳවා ගත හැකිය.

නිවසේ නාන කාමරය

නිවසක නාන කාමරය සඳහා භාවිත වන්නේ ජල ප්‍රතිරෝධී ප්ලාස්ටික් වලින් තැනූ තිර රෙදි වේ.

බොහෝ විට මෙය නාන කාමරය සහ වැසිකිළිය එකට පිහිටි විට බෙදුම් තිරයක් ලෙස භාවිතා කරනු ලබයි.

ඇතැම් විට නාන කාමරයේ ජනෙල් විවෘතව පවතී නම් ඇතුලත නොපෙනෙන ලෙස තිර රෙද්දක් එයට භාවිතා කළ හැක.

Leave A Comment

error: Content is protected !!